චරිත නිරූපන සම්ප්‍රදාය...

(අයිරාංගනී සේරසිංහ රංගන ශිල්පීනිය විසින් 1972 දී නව සිනමාව සඟරාවට ලියා පළ කළ ලිපියකි)

සිනමාව සාමුහික කලාවකි. අධ්‍යක්ෂක වරයකුට සිය අත්දැකීම් ආශ්‍රයෙන් පමණක් සිනමා පටයක් බිහි කිරීමට අපහසුය. එහි බිහිවීමට තවත් විවිධ ශිල්පීන් සමූහයකගේ සහාය ඉවහල් වේ. එසේ සිනමාවට හවුල් වන ශිල්පීන් අතරින් නළු නිළියන් ප්‍රධාන තැන් ගනී.

නළු නිළියන් නොමැති චිත්‍රපට නැතිවාම නොවේ. ස්වාභාවික වස්තූන් වෙත කැමරාව එල්ල කොට ස්වාභාවික වටාපිටාවන් පමණක් හසුකර ගෙන චිත්‍රපට බිහිකළ හැක. ඒවා වාර්තා චිත්‍රපට වල තත්‍වය නොයික්මවයි. වෘතාන්ත චිත්‍රපට සඳහා නළු නිළියන් අවශ්‍යමය. පොදුවේ සිංහල සිනමාවේ වාර්ගිකරණ අනුව නළු නිළි පිරිස ප්‍රධාන, සහායක, විකට හා මහළු වශයෙන් කොටස් වෙයි. චිත්‍රපටයකට මේ හැම චරිතයන්ගෙන්ම නොමඳ රුකුලක් ලැබෙයි. ගොඩ නැගිල්ලක බිත්ති, කණු මෙන්ම ජනේල, රීප්ප, පීලිද වැදගත් වන්නා සේ චිත්‍රපටයක් ගොඩ නැගීමට නොයෙක් විදියේ චරිත නිරූපනයේ යෙදෙන නළු නිළියන් අවශ්‍ය වෙයි. කාගෙත් සැළකිල්ලට වැඩි වශයෙන් භාජනය වන්නේ ප්‍රධාන නළු නිළි යුවලය.

චිත්‍රපට කථාවක් තිරයේ මැවීමට, කථාවේ පරිසරය රැකීමට, කථාව පණ ගැන්වීමට, කථාව රසවත් කිරීමට නළු නිළියන් ගණනාවක් අත්‍යවශ්‍යයය. ඉන්දියාවේ චිත්‍රපට නිපද වූ මුල් කාලයේදී චිත්‍රපට සඳහා පරිසරය මැවීමට ඉන්‍දියානු- වන් යෙදවූ බව මා අසා ඇත. විශාල සෙනගක් පෙන්විය යුතු නොයෙක් දර්ශණ සඳහා අවශ්‍ය පිරිස් ඉන්දියානු චිත්‍රාගාර අසලින් සුළු කාලයක් තුළදී රැස් කරගත හැකිය. චිත්‍රාගාර අසල ගැහැණු පිරිමි රැස් කරවන නියෝජිතයෝ නිතරම සිටිති. ලංකාවේ මෙසේ පිරිස් ඉක්මනින් එක්කර ගැනීම අපහසු වුවද, ක්‍රමවත් සංවිධානයක් යටතේ පරිසරය මැවීමට සෙනඟ එක්කාසු කර ගැනීමට අපහසුවක් නැත.

මේ දක්වා මා උත්සාහ කළේ චිත්‍රපටයේ මුල සිට අගට මෙන්ම සුළු විනාඩි ගණනකට වුවද පෙති සිටින අය චිත්‍රපටයේ උපතට සාමුහිකව සහාය වන බව පෙන්වා දීමටයි.

සිංහල සිනමාවේ චරිත නිරූපන අංශය ගැන කල්පනා කරන විටද දැන් අපට සතුටට පත්වීමට තරම් දක්ෂ රඟපෑම් මතු කොට පෙන්වන නට නිළියන් සිටින බව ආඩම්බරයෙන් කිව යුතුව ඇත. තමන්ට ආවේනික චරිත රටා සම්ප්‍රදායන් ගොඩනගා ගත් නළු නිළියන්ද දැන් මෙරටෙහි ඇත. මුල කාලයේදී මෙරට නිපද වූ චිත්‍රපට අතරින් වැඩි වශයෙන්ම මතු වී පෙනුනේ කල්පනා ශක්තියෙන් තොරව ඉතාම පහසුවෙනේ තේරුම් ගත හැකි චරිත නිරූපනයන් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් දැන් බුද්ධිය මෙහෙයවා අබබෝධ කරගත යුතු චරිත රැගත් චිත්‍රපට විටින් විට බිහිවෙයි. එම චරිත හඳුනා ගැනීමටත් ඒවායින් සංකේතාත්මකව ප්‍රකාශ වන අර්ථයන් අවබෝධ කර ගැනීමටත් සමත්කම් ඇති චිත්‍රපට රසික පිරිසක් දැන් අපට සිටි. මුල් කාලයේ චරිත නිරූපන පරමාර්ථ හැටියට පැවති  පටු සීමා  ඉවත දමා නිරතුරුව ම පාහේ ගැඹුරින් සිතීමට අනුබල ලැබෙන චරිත සිංහල චිත්‍රපට ඔස්සේ ඉදිරිපත් වන්නේ නම් එය සතුටට කරුණකි.

මුල් යුගයේ එක දිගටම වාගේ සිංහල චිත්‍රපට චරිත සම්ප්‍රදාය ගොඩනැඟී විකාශණය වී ආවේ සැබෑ ලෝකයෙන් ඉවත්වුණු මායාකාරි කෘතිම සම්ප්‍රදායකට අනුවය. එහෙත් එම බොල් සිතුවිලි රැගත් සම්ප්‍රදාය දැන් බිඳ වැටීමට ආසන්න යයි මට සිතේ. මේ ලෝකයේ ජීවත් වන මිනිසුන්ගේ ගතිගුණ මුසු කොට ගත් තාත්වික චරිත නිරූපනයන් දැන් සිංහල චිත්‍රපට තුළින් විටින් විට ඉදිරිපත් වෙයි. එම තාත්වික චරිත තුළින් හමන ජීවන ස්වභාවයන්ගේ සුවද හමුවේ මායාකාරි බොළඳ චරිත නිරූපනයන් කැළති දියවි අහෝසි වී යනු නියතය. එය කාලය විසින් මතුවට විසඳන ප්‍රශ්ණයක් බව දැන් කිව හැක.

මිනිස් ඇසට විෂය වන සත්‍ය පදනමක් මතින් බිහිවන, තාත්වික ලෝකයෙන් ආශ්වාදයක් විඳීමට සූදානම් රසික පිරිසක් අපට සිටිති. ඔවුන් එවැනි කෘතීන් හඳුනා ගැනීමටත් ඒවා මගින් නව ආශ්වාදයක් විඳීමටත් සූදානමින් සිටින බව මට විශ්වාසය. එවැනි බලාපොරොත්තු තැබිය හැකි රසික පරපුරක් අපට සිටින නිසා මායාකාරි චරිත නිරූපන සංකල්පය දැන් පැකිලීමක් නැතිව ඉවත දැමීමට කාලය පැමිණ ඇත. නළු නිළියන් වශයෙන් යථා විධි චරිත නිරූපන සම්ප්‍රදායක් ගොඩනැගීමට වෙර දරණ අයට මතු අනාගතය යහපත් මෙන්ම සාර්ථක වන බව මගේ පිළිගැනීමයි.