සංගීතය ගැන...

(ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීත වේදියානන් විසින් 1972 නව සිනමාව සඟරාව වෙත ලියා පළ වූ ලිපියකි )

අප ඇසට යමක් පෙනෙන්නේ ආලෝකය හේතුකොටගෙනය. අප දකින දේවල වර්ණයන් වෙන් වෙන් වශයෙන් දැනෙන්නේත් ආලෝකයේ ආධාරයෙන්ය. ආලෝකය තුළ පිහිටි වර්ණ විවිධ වන්නේ එහි තරංග ප්‍රමාණයන්ගේ වෙනස් කම් හේතු කොටගෙනය. අපේ නෙතට පෙනෙන දේවල වර්ණයන් ස්වභාවිකව පිහිටි ලක්ෂණයක් නොවේ. ඒවා සූර්යාලෝකය හේතුවෙන් අපේ ඇසේ ආධාරයෙන් සිත් තුළ ඇති කර ගන්නා හැඟීම් මාත්‍රයන් පමණක් බව විද්‍යාව පිළිබඳව තතු දත් බුද්ධිමතුන්ගේ නිගමනයයි.

චිත්‍රපටයකට යොදන සංගීතය පිළිබඳව ද මට කිව හැක්කේ මෙපමණය. චිත්‍රපටයකට මුසු වූ සංගීතයක් ශ්‍රවණය කර ලබන්ට බලාපොරොත්තු වන වින්දනය; නාදයත්, ශබ්දයත් යන දෙක අතර ඇති භේදය හඳුනා ගැනීමේ ශක්තිය තුළින් මතුවේ. එම වින්දනය අපේ අත්දැකීම්, රස විඳීමේ මට්ටම මෙන්ම, අපත් එහි නිර්මාපකයාත් අතර ඇති හිතවත්කම අනුවද විවිධව ජනිත වේ. එහෙත් මෙය පවා හැඟීම් මාත්‍රයක් මිස එහි ගැබ්වී ඇති තිර සාර සත්‍යයක් නොවේ.

අපේ නූතන චිත්‍රපට නාද සාහිත්‍ය විවිධ නම් වලින් හඳුන්වා දීමට පුළුවන.

  1. චිත්‍රපට සංගීතය
  2. චිත්‍රපට ශාස්ත්‍රීය සංගීතය
  3. චිත්‍රපට (කොල්ලකාගත්) කොපි සංගීතය
  4. චිත්‍රපට හින්දුස්ථානි සංගීතය
  5. චිත්‍රපට බටහිර සංගීතය
  6. චිත්‍රපට (කණාටක) දකුණු ඉන්‍දියානු සංගීතය
  7. චිත්‍රපට සරල සංගීතය
  8. චිත්‍රපට අවස්ථානුරූපි සංගීතය යනුවෙනි.

මෙහිදී අවසානයට දැක්වූ අවස්ථානුරූපි සංගීතය ගැන වචනයක් කිව යුතුය. චිත්‍රපටයක රූප වලින් ප්‍රකාශ කරන අර්ථය තීව්‍ර කරලීමට උපයෝගි කර ගන්නා සංගීතයට අවස්ථානුරූපි සංගීතය යයි කියනු ලැබේ. එයම නිෂ්පාදකයා ගේ මල්ල තරකර ගැනීමට හෝ මල්ල අඩුකර නොගැනීමට හෝ උපයෝගි කරගනු ලබන්නේ නම් අවස්ථානුරූපි සංගීතය කෙතරම් දුරකට අවස්ථාවාදි තත්‍වයකට පරිවර්තනය වනවාද යන්න සිතාගත හැක. දැනට වසර තුන හතරක පටන් මේ අවස්ථානුරූපි සංගීතය ගැන තැන නොතැන නොසලකා ලොකුවට පුන පුනා කියන බවක් අසන්නට ලැබේ. මෙය බලහත්කාර යෙන් මෙන් ප්‍රේක්ෂක මනසට ඇතුල් කරලීමට දරණ වෑයම නිසා චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ අයමෙන්ම චිත්‍රපට නරඹන්නන්ද අතරමං වී ඇති බවක් පෙනෙන්නට ඇත. ඇතැම් අය මග භයයෙන් කියන මේ අවස්ථානුරූපි සංගීතය නිසා මෙරටේ නිපැයුණු චිත්‍රපට කීපයක සංගීතය හැර, සෙසු බොහෝ චිත්‍රපටවලට සංගීතය සැපයූ සංගීතඥයෝ කළේ කුමක්ද යනුවෙන් ප්‍රශ්ණයක් හැමදෙනෙකු තුළම පැන නැඟී ඇත.

එය කුමක් වුවත් මෙවැනි පදනම් රහිත හිස් මතවාද පැතිරෙද්දී ශිල්පීය ඥානය හා දක්ෂතාව ඇති සංගීතඥයෝ නිහඬව නිසොල්මන්ව සිටිති. ඊට මූලික හේතුව ඔවුන් ලේඛකයින් නොවීමයි. එහෙත් කාලය විසින් ප්‍රශ්ණය විසඳන දිනය අත ලඟම විය හැක. එයින්ම සත්‍යයද ඉස්මතුවී පෙනෙනු නිසැකය.

මේ රටේ ඕනෑම පුරවැසියකුට කිසිම සැකක් බියක් නොමැතිව ගීතයක රාවයක් හෝ රිද්මයක් අනුව නිදහසේ හිස වනන්නට වුවද අවශ්‍ය නම් ඉඩක් හා අයිතියක් ඇත. මේ නිසාම සංගීතය යනු කුමක්දැයි කියා හරිහැටි නොදත් අය පවා සංගීතය විවේචනය කිරීමට ඉදිරිපත් වෙති. මෙවැනි අය නිරතුරුවම පාහේ පුවත්පත් හා සඟරා මගින් සංගීතය ගැන විවේචන ඉදිරිපත් කරති. ඒවා කෙතෙක් දුරට සංගීතය පිළිබඳ ශිල්පිය ඥානය ඇසුරින් සකස් කරගත් ඒවාද යන්න කෙනෙකුට කිව නොහැකිය. එසේම ඒවා කෙතරම් දුරකට අපක්ෂපාති ඒවාද යන්න නොපැහැදිළිය. අප රටට චිත්‍රපට කලාව පිළිබඳව ගුරු තත්වයෙහිලා සැළකිය හැකි රට වලින් පහත් යයි අපක්ෂපාතිව විවේචනය කරනු ලැබූ කෘතින්, අප රට විචාරකයින් යයි කියන අය මහ ඉහළින් පුන පුනා වර්ණනා කළ අවස්ථා මට මතකය. අප චිත්‍රපට කලාව අන්තර් ජාතික සබඳකම් හා අත්දැකීම් තුළින් දියුණුව කරා පා තැබිය යුතු එකකි. එම ස්වර්ණමය මාවත පදනම් රහිත ලජ්ජාශීලි විවේචන ඔස්සේ මඩ වගුරු කැපී අපවිත්‍ර වන බව කිව යුතුව ඇත.

විවේචකයින් හෝ විචාරකයින් හෝ තව වෙනත් කෙනෙකු හෝ  හොඳයි හා නරකයි කියූ පමණින් කිසිවකු තුළ වින්දනයක් ජනිත වේයයි මම විශ්වාස නොකරමි. චිත්‍රපටයක් නරඹන රසිකයන් තුළ රසය මැවෙන්නේ වෙන අන්දමකටය. චිත්‍රපටයක් නරඹද්දී රසිකයා එම චිත්‍රපටයේ ශ්‍රව්‍ය හා ද්‍රෘෂ්‍ය යන අංශ දෙක අතර ජිවත් වෙමින් තම සිතට හොරා වින්දනයක් ජනිත කර ගනී. එය සිය අත්දැකීමේ හා රස විඳීමේ මට්ටම අනුව අඩු වැඩි විය හැක. එසේ නොමැතිව තවෙකෙක් හොඳයි කිවු පමණින් කිසිවකු තුළ වින්දනයක් ගොඩ නොනැඟේ. මා කලින් කීවාක් මෙන් සංගීතයෙන් ලබන වින්දනය සූර්යා ලෝකය ආධාරයෙන් වර්ණ භේදය හඳුනාගන්නාක් වැනිය.

ප්‍රායෝගික කරුණු ගැන සැළකීමේ දී චිත්‍රපටයකට පසුබිම් සංගීතය යෙදීම සෙසු කරුණු වලට වඩා වැදගත් භාරදූර කාර්යයක් බව කියමි. අමු ද්‍රව්‍ය, කැමරා ආදිය උපයෝගි කොට ගෙන චිත්‍රපටයක් පින්තූර ගත කිරීමට වඩා මෙය ආයාස යෙන් හා පරිස්සමින් කළ යුතු දෙයකි. චිත්‍රපට ගත කිරීම සඳහා අවශ්‍ය මෙවලම් මුදලට ගෙන තම කාර්යයට ගොචර අන්දමට ක්‍රියා කරවීමට පුළුවන. එහෙත් කෙනෙකුට ප්‍රකාශ කර තේරුම් කරදීමට පවා නුපුළුවන් ක්‍රියාවලියක් මගින් ඉටු කරගත යුත්තකි සංගීතය සැපයීම. තත්පර 1 කට අඩි 3000 ක පමණ වේගයෙන් දිවෙන නාදය සංගීතය නිර්මාණය කිරීමට උපයෝගි කරගන්නා ප්‍රධානතම මූලාශ්‍රයයි. එය ඇහැට නොපෙනෙන දෙයකි. මෙම නාදය රිද්මයකට යොදා සංගීත ඛණ්ඩයක් බිහි කිරීම පරිස්සමින් කළ යුතු දෙයකි.

සිතුවිල්ලක් පවතින්නේ ඉතා අල්ප කාලයකි. එවැනි සිතුවිලි මොහොතින් මොහොත වෙනස් වෙයි. ඒ ආකාරයටම නාදය ද ක්ෂණයෙන් ක්ෂණය වෙනස් කරමින් සංගීතය නිර්මාණය කළ යුතුය. එහෙත් නාදය පදනම් කොටගත් සංගීතය වෙනස් කළ හැක්කේ වයන භාණ්ඩ වලින් ජනිත කළ හැකි ප්‍රමාණයේ තරමටය. එසේම ඒ ඒ භාණ්ඩ වලින් ජනිත කරගත හැකි ස්වර රටාවට අනුකූලවය. නාදය සකසා ගැන්මෙන් පසුව සම්පූර්ණ සංගීත ඛණ්ඩයක් තනා ගත යුතුය. එවැනි ඛණ්ඩයක් නිම කරගත හැක්කේ අවශ්‍ය වන ප්‍රමාණයට උචිත කම්පන වාර බිහිවන වාද්‍ය භාණ්ඩ යොදාගෙන (Orchestration) ඒවා මෙහෙයවීමෙනි.

මෙන්න මේ යයි වෙන්කර ගත හැකි කිසිවක් ඉතිරි නොවන, ජනිත වූ වහා අහෝසි වන, එල්බ ගෙන සිටීමට පිළිසරණක් නොමැති අදෘශ්‍යමාන දෙයකින් ක්ෂණයකින් නිර්මාණය වන්නක් හැටියට සංගීතය හැඳින්විය හැකිය. මෙවැනි ස්වභාවයක් රැගත් සංගීතය චිත්‍රපටයකට යෙදීමේදී නිරතුරුවම මුහුණ පාන්නේ විශාල පැටලිලි සහගත අවස්ථාවකටය. කෙතරම් දක්ෂ වාදකයන් එක්වී උසස් ලෙස වැයූ වාද්‍ය ඛණ්ඩයක් වුවද චිත්‍රපට ගත කිරීමේදී අවාසනාවන්ත තත්වයකට මුහුණ පායි. අපේ ශබ්ද පරිපාලකයින් බොහෝ දෙනෙකුට රස විඳීමේ ශක්තිය තිබුනද, සංගීත ඥානයක් නොමැති බව පෙනේ. මෙවැනි  අය යටතේ පරිපාලනය වී පටිගත වන සංගීත ඛණ්ඩ ඇත්ත වශයෙන්ම අන්ධයින් කැමරාව මෙහෙයවා චිත්‍රපට ගත කළ දර්ශණයන් හා සමානවම අසාර්ථකත්වයට වැටේ.

අවසන් වශයෙන් කිව යුතුව ඇත්තේ මෑතක සිට අප රට සංගීත කලා කරුවනට මුහුණ පාන්නට සිදුවී ඇති එක්තරා වියවුල්කාරි තත්වයක් ගැනයි. කිසියම් නිර්මාණයක් උසස් වූවද නොවූවද, එසේම සාර්ථක වුවද නොවුවද, ඒවා ගැන වර්ණනා මුඛයෙන් පත්තර හා සඟරා වල පිටු ගණන් තොරතුරු රචනා වෙයි. මේ වායින් සිදුවන ප්‍රතිඵල දෙකකි. ඉන් එකක් නිර්මාණය කළ තැනැත්තා පරාජිතව අතරමං වීමයි. දෙවැන්න විචාරකයින් යයි කියන සීමිත පිරිසකගෙන් පැසසුම් ලැබීමයි. මෙයින් භයානක තත්වයක් උද්ගත වේ. එනම් රසිකයා විඳින වින්දනය යථා පරිදි ප්‍රකාශ නොවීමයි. නැතිනම් රසික වින්දන මට්ටම තත්වාකාරයෙන් නිර්මාණ ශිල්පීන්ට දැනගත නොහැකි වීමයි.

මෙම අර්බුදකාරි ව්‍යාකූල පසුබිම මෙරට සංගීත ශිල්පීන් කෙරෙහිත්, ඔවුන් මගින් පොදුවේ සංගීතය කෙරෙහිත් හානිකර අයුරින් බලපානු ලබයි. සංගීත අංශයේ නියැලී සිටින ශිල්පීන් හට එකාමෙන් සමඟි සම්පන්න වීමට ඇති දොරටු වැසී ඇත්තේ ඉහත හේතුව නිසාය. කලා කරුවන් වශයෙන් සියල්ල දත්තෝ ලෝකයේ පහළ වී නැත. පහළවීම ද බලාපොරොත්තු විය නොහැක. ලොවින් එකෙක් සමත් වන්නේ එක දෙයකටය. මේ නිසාම අනිත් දෙයකට සමත් අය ඇසුරු කරමින් තමන් දත් නොදත් දේ අවබෝධ කර ගැනීම කලා කරුවාටත් පොදුවේ සමස්ථ කලාවටත් විශාල ආශිර්වාදයක් ගෙන දෙන්නකි. එහෙත් අප වටාපිටාව එවැනි වරප්‍රසාදයකට ඇති ඉඩකඩ වසා දමා ඇත. කලා කරුවන් මේ අන්දමින් සත්‍යයත් අසත්‍යයත් අතර අතරමං වන පරිසරයකට ඇද දැමීමට තුඩු දුන් හේතුන් මවා පෑ වගකිව යුත්තෝ කවරහුද?

ඉහත දැක්වූ කරුණු කුමක් වුවද සංගීතය කොල්ල කෑ ( අමු අමුවේ ද්‍රවිඩ හින්දි සංගීත කොපි කළ) චිත්‍රපට හැර ” කඩවුණු පොරොන්දුව ” චිත්‍රපටයේ සිට අද ප්‍රදර්ශණය වන චිත්‍රපටයේ සංගීතය දක්වා අපේ අතීතයත් අනාගතයත් දෙස බලන විට අපට ආඩම්බර විය හැකි එක් දෙයක් ඇත. එනම් දහසකුත් එකක් අපහසුකම් මධ්‍යයේ වුවද ඒකාකාරි සංගීතයකින් තොර සංකීර්ණ රසයකින් යුත් සංගීතා වලියක් බිහිකර ගැනීමට අපට හැකි වී තිබීමයි. මෙම කෘතින් වල වටිනාකම හෝ සාර්ථකත්වය මැනිය හැක්කේ පිටු ගණන් ලියා නොව ඒ ඒ කෘතින් නිර්මාණය කළ සංගීතඥයින්, සංගීත භාණ්ඩයනුත් සමඟ වේදිකාවකට ගෙන්වා ප්‍රායෝගිකව ලබන ආස්වාදයකින් හා අත්දැකීමකිනි.