කීර්ති ගී' ප්‍රසංගය මෙම මස 20 වන සෙනසුරාදා

කීර්ති ගී' ප්‍රසංගය මෙම මස 20 වන සෙනසුරාදා

කීර්ති පැස්කුවල් ගේ සංගීත දිවියට 40 වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන ' කීර්ති ගී' ප්‍රසංගය මෙම මස 20 වන සෙනසුරාදා සවස 7.00 ට කොළඹ බණ්ඩාරනයක සම්මන්ත්‍රණශාලාවේ දී පැවැත්වේ. ඒ නිමිති කොටගෙන කීර්ති පැස්කුවල් සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකි මේ.

මෙවර ඔබ පවත්වන්නට සූදානම් වන ප්‍රසංගය කෙබදු එකක්ද?

මේ ප්‍රසංගයේ නම ' කීර්ති ගී' යනුවෙනුයි යොදලා තිබෙන්නේ. මගේ සංගීත දිවියේ මුල් ආරම්භයේ සිට මේ දක්වා සංගීත ගමන තුළ සිදුවුණ සංගීත පරිණාමය ත්මයි මේ ප්‍රසංගය තුලින් මම පෙන්වීමට අදහස් කරන්නේ. පසුගිය කාලයේ මම විවිධ තේමාවන් යටතේ සංගීත ප්‍රස්ංග පැවැත්වුවා. මේ හැම ප්‍රසංගයකින්ම මම උත්සාහ කළේ ප්‍රෙක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ලබාදෙන්නයි.මේ වනවිට මාගේ සංගීත ගමන් මගට වසර 40 ක් පමණ වෙනවා. මා පැමිණි ගමන් මග පැහැදිලි කිරීම පිණිස ප්‍රසංගයක් පැවැත්විය යුතු යැයි මා විශ්වාස කළා. එයට හේතුව තමයි මම කුඩා කළ සිටම ගායනයට ලොකු කැමැත්තක් දැක්වීම. පසුව මම වාදනය පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගත්තා. ඒ ඒ කාලයේ තිබෙන සංගීත රටාවන් ,සංගීත ශෛලීන් වලට අනුගත වෙමින් හා ඒවා හදාරමින් තමයි මගේ සංගීත ගමන ඉදිරියට ආවේ.
මම වාදකයෙක් හැටියට මගේ සංගීත ගමන ආරම්භ කළත් , මම හිතුවේ නැහැ ගායන ශිල්පියෙක් වෙන්න ඕනෑ කියල. නමුත් මට ගීත ගායනා කරන්න තිබුණු හැකියාව තුළමා එයට පෙලඹුණා. ඒ අනුව ඒ ඒ කාලවලදී මට සංගීතය පිලිබද අවබෝධයක් ලද කාලයේදී , 60 දශකයේ දී ගොඩක් ජනප්‍රිය වෙලා තිබුනේ කණ්ඩායම් සංගීතය .මම බොහොම ප්‍රිය කලා කණ්ඩායම් සංගීතයට අදාලවූ ඒ ගීත අනුකරණය කරන්න. ඒ ගීත ගායනා කරන්න. ඒ ගීත ශෛලීන් හදාරන්න. ඒ වාගෙම ඒ කාලයේ ගිටාරය ජනප්‍රිය සංගීත භාණ්ඩයක් බවට පත්වීගෙන ආවා. මමත් මගේ සහෝදරයා නිසා මේ ගිටාර් වාද්නයට යොමු උණා. මගේ අයියා තමයි අපේ ගෙදරට මුලින්ම ගිටාර් එකක් අරගෙන ආවේ. මටත් ඔය ගිටාර් එක අත පත ගාන්නට නිතර අවස්ථාව ලැබුණා.
ඔය අතර තුර 70 දශකයේදී මට අවස්තාව ලැබුණා, සංගීත කණ්ඩායමක වාදකයෙකු ලෙස කටයුතු කරන්නට . මගේ ගම මහනුවර . මම ඉගෙන ගත්තේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ. මහනුවර ප්‍රදේශයෙන්ම බිහිවුණ ප්‍රවීණ සංගීතවේදියකු වූ ස්ටැන්ලි පීරිස් ගෙ ප්‍රධානත්වයෙන් ' ග්ලැක්සීස්' කියන සංගීත කණ්ඩායමේ. 70 දශකයේ ඉතාමත්ම ජනප්‍රියව තිබූ සංගීතරටාව තමයි , ක්ලැරන්ස් විජේවර්ධන ' කැලිප්සෝ' කියන සංගීත ආරයට නව අර්ථකතනයක් දෙමින් , එතුමා බටහිර සංගීත භාණ්ඩ වාදනය කරමින් ආරම්භ කළ කණ්ඩායම් සංගීතය. ඒ කාලයේ' මූන්ස්ටෝන්, ගෝල්ඩ්න් චයිම්ස්,සුපර් ගෝල්ඩන් චයිම්ස් නමින් එතුමාගේ ප්‍රධානත්වයෙන් සංගීත කණ්ඩායම් ආරම්භ වූවා.එම සංගීත කණ්ඩායම්වල තිබුණසංගීත රටාවන්ම තමයි මම ' ග්ලැක්සීස් සංගීත කණ්ඩායම සමග වාදනය කළේ. මහනුවර ප්‍රදේශයේ ඉතාමත්ම ජනප්‍රිය වෙන්නට අපට හැකි වුණා.80 දශකය වෙනකොට මම කොළඹට පැමිනෙනවා. ඒ ගමනේ මට මුලින්ම ලැබුණු අවස්ථාව තමයි ප්‍රවීණ සංගීතවේදී පැට්‍රික් දෙනිපිටිය ගේ සංගීත කණ්ඩායමේ ගායකයෙකු ලෙස කටයුතු කරන්නට ලැබීම.

ඔබේ මේ ප්‍රසංගය තුළ සිදුවෙන සුවිශේෂී දේ මොනවාද ?

ඒ ඒ කාල වකවානු වලට අදාලව මාවිසින් පෙන්වන්නට යෙදෙන විශේෂ පුද්ගලයන්ට මම ආරාධනා කරනු ලබනවා මාත් සමග ගීත ගායනා කරන්න. උදාහරණයක්විදියට කියනවානම් කැලිප්සෝ කණ්ඩායම් සංගීතය ආරම්භ කලේ නෙවිල් ප්‍රනාන්දු නම් ප්‍රවීණ ශිල්පියා. ඔහු අද ජීවතුන් අතර නැහැ. එතුමාගේ සහෝදරයා ඉන්නවා එරල් ප්‍රනාන්දු. මේ එරල් ප්‍රනාන්දු කලකදී මා සමග කැලිප්සෝ සංගීතය වාදනය කළා සංගීත කණ්ඩායමක . ඒ සම්බන්ධතාවය මත මා බලාපොරොත්තු වෙනවා එතුමාව කැදවලා ඔහු සමග ගීත කීපයක් ගායනා කරන්න. කොටස් හතරකින් යුත් සංගීත ප්‍රසංගයේ මුල් කොටස වෙන්වෙන්නේ ' කැලිප්සෝ ' කියන සංගීත ආරයට.
ඒ වගේම 70 දශකය නියෝජනය කරන්න මා ආරධනය කරනවා ඇනස්ලි මාලේවන කියන මගේ සහෝදර ගායන ශිල්පියාට. ඔහු සමග මම ගීත කීපයක් ගායනා කරනවා.ඒ වගේම 80 දශකයේ දී තමයි සංගීතය විවිධ වෙනස්කම් වලට භාජනය වුනේ. ඒ යුගය නියෝජනය වීම සදහා මා සමග ගීත ගැයීමට නෙලූ අධිකාරී, සමිතා මුදුන්කොටුව, නිරෝෂා විරාජිනීයන ශිල්පිණියන් සම්බන්ධ වෙනවා. ඒ වගේම මගේ දියණිය චාරුණී පැස්කුවල් හා මගේ පුත් කසුන් පැස්කුවල් වගේම ලේලිය වන චේතනා රණසිංහ සම්බන්ධ වෙනවා.
නව සංගීත ආරයට ගැයෙන අවසන් කොටසේදී ධම්මිකා බණ්ඩාර හා මරියසෙල් ගුණතිලක ගායනයෙන් සහාය වනවා. මේ සංගීත ප්‍රසංගය තුලින් විවිධ යුග ගීතත් සමග විවිධ සංගීත ක්‍රම ඔස්සේ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ලබා ගන්නට හැකි වේවි කියා මා විශ්වාස කරනවා.

ප්‍රසංගයේ දී නිකුත්වන නවතම ගීත ඇල්බමය පිලිබද කතා කලොත්?

මගේ නවතම ගීත 18 ක් ඇතුලත් ' තරු පොකුර නම් සංයුක්ත තැටිය නිකුත් වෙනවා. මෙයට සන්බන්ධ බොහෝ පිරිස් ආධුනිකයි. නමුත් ඒ අය බොහෝම නිර්මාණශීලීයි. මෙයට යුග ගීත6 ක් ඇතුලත් වෙනවා. එයින් වැඩි ගීත ප්‍රමාණයක් මම ආධුනික ශිල්පිණියන් සමග තමයි ගායනා කර තිබෙන්නේ. නව පරපුර දිරිමත් කීඊමක් වශ්යෙන් තම්යි මේ දේ මම කළේ. මමත් ආධුනික මට්ටමේ ඉන්න කාලේ ප්‍රවීණයෝ සමග වැඩ කරන්න ආශාවෙන් හිටියා. අද දවසේ මම ඔවුන්ට අත නොදුන්නොත් ඔවුන්ගේ මග ඇහිරීමක් ලෙසයි මම දකින්නේ.

මේ ගීත සදහා මම ලොකු වියදමක් කරල නැහැ. සංගීතවත් කරන්නට ,පටිගත කරන්නට හෝ අනෙකුත් කිසිම දේකටවත්. මොකද ඔවුන්ගේ බොහෝ නිර්මාණවලට මගේ දායකත්වය ලබා ගන්නට ඔවුන් කැමැත්තක් දක්වනවා.ඒ අයුරින් නිර්මාණය වුණු ගීත බොහොමයක් මෙයට ඇතුලත් වෙනවා. ඒ හැර ප්‍රවීණ සංගීතඥයන් යටතේ ගැයූ නවතම ගීත බොහමයකුත් තිබෙනවා.මෙම ගීත සංයුක්ත තැටියකට ඇතුලත් කරලජනගත කිරීම තමයි මගේ බලාපොරිත්තුව. ආර්ථික ප්‍රතිලාභයක් ලබාගැනීම මගේ බලාපොරොත්තුව නොවෙයි.මේ තුලින් තව කෙනෙකුට අත හිත දීමත් , ගීත ජනගත කිරීමත් තම්යි මගේ පරම පවිත්‍ර චේතනාව වෙන්නේ.

මේ ප්‍රසංගය පැවැත්වීමේ විශේෂ අරමුණක් තිබෙනව නේද?

ඔව්. මම හැම ප්‍රසංගයක්ම පැවැත්වූයේ යම්කිසි අරමුණක් පාදක කර ගෙනයි.මෙවර මගේ බලාපොරොත්තුව අනුරාධපුරයේ , එහෙම නැත්නම් උතුරු ප්‍රදේශයේ වෙසෙන වකුගඩු රෝගයෙන් පෙලෙන අපේ සහෝදර ජනතාවට යම්කිසි සේවාවක් කරන්න. මට දැනගන්නට ලැබුණාඑම රෝගයට ප්‍රතිකාර ලැබීමට විවිධ ප්‍රදේශ වලින් පැමිණෙන රෝගී ජනතාවට නවාතැන් පහසුකම් නගරය තුළ අවමව ඇති බව. ඒ නිසා මා සැලසුම් කරගෙන යනවා නගරය තුල විශ්‍රාම ශාලාවක් ගොඩනැංවීමට. මේ කටයුත්ත සදහා මට බොහෝ පිරිසකගේ සහයෝගය ලැබෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රසංගයෙන් යම් ලාභයක් ලැබුනොත් එයින් යම් කොටසක් මෙම සත් ක්‍රියාව සදහා යොදවන්න.

..............හේමාලි.............