මම සීරියස් කැරැක්ටර් තමයි මුල් දවස්වල කරේ - ජී.ගංගොඩ තැන්න

මම සීරියස් කැරැක්ටර් තමයි මුල් දවස්වල කරේ - ජී.ගංගොඩ තැන්න

මේ දවස්වල දෙරණ රූපවාහිනියෙන් විකාශය වන “අන්කල් සෑම්” නාට්‍යයේ විල්සන් මහත්තයා මතකද? පසු ගිය කාලේ අතිශය ජනප්‍රිය වුණු “ඇඩ්ඩ්‍රස් නෑ” , “ප්‍රවේගය” වගේ චිත්‍රපටි වලිනුත් ටෙලි නාට්‍ය රැසකින් ඔබේ ආලින්දයට ආපු ජී.ගංගොඩ තැන්න සමගයි අපේ මේ කථාබහ. තරුණ කාලේ තමයි බොහෝ අය රංගන ක්ෂේත්‍රයට එන්නේ. ඒත් ගංගොඩ තැන්න අයියා රංගන ක්ෂේත්‍රයට එන්නේ 1985 දී. එතකොට ඔහුට අවුරුදු 40යි. දැන් ගණන් හදල බලන්නකො ඔහුගේ වයස අවශ්‍ය නම්..... රංගන ක්ෂේත්‍රයේ විශාල අත්දැකීම් රාශියක් තිබෙන මේ රංගන ශිල්පියාගෙ රංගන අත්දැකීම් අපි දැන් බෙදා ගනිමු.

ඔබේ රංගන ජීවිතයේ මුල් අවධියෙන් අපි පටන් ගනිමුද?
හා.............හොඳයි. මම මුලින්ම රංගන ක්ෂේත්‍රයට ආවේ 1985 අවුරුද්දේ වාගේ. රූපවාහිනිය ලංකාවට ආපු මුල් අවධියේදී. ධර්මසේන පතිරාජ මහත්තයා කරා “ඇල්ල ළඟ වලව්ව” කියලා ටෙලි නාට්‍යයක්. ඒකෙ චරිතයට මාව තෝරා ගත්තා.

576752ea1a57c

ඊට පස්සේ?
ඊට පස්සේ පතිරාජ මහත්තයාගේ “කඩුල්ල” ,”වන්නි හාමිලාගේ කථාව” ඇතුළු කීපයකම රඟපෑවා. ඊට අමතරව ඔහු කරපු වෙළඳ දැන්වීම් ඇතුළු නිර්මාණ රාශියකටම සම්බන්ධ වුණා.
ඊට අමතරව කුමාරසිරි අබේකෝන් මහත්තයාගේ “නිම්තෙර” කියන නාට්‍යයෙන් තමයි පතී ඇරුණම වෙනත් අධ්‍යක්ෂවරයෙක් යටතේ රඟපාපු මුල්ම නාට්‍යය. ඊට පස්සේ ටෙලිවිව් එක කරපු ටෙලි නාට්‍ය 25-30ක විතර වැඩ කරන්න ඇති. ඊට පස්සෙ මේ වෙනකන් ඉතිං රඟපානවා.

ගංගොඩ තැන්න කියන නළුවා ධර්මසේන පතිරාජ මහත්තයා කොහොමද හොයා ගත්තේ?
පතී................ මගේ පාසල් මිතුරෙක්. මමයි ඔහුයි ඉගෙන ගත්තෙ මහනුවර ධර්මරාජෙ. ඒ වුනාට පති කලින් කරපු නිර්මාණවලට මම ගත්තෙ නෑ. “ඇල්ල ළඟ වලව්ව” නාට්‍යයේ කෙට්ටු හාමුදුරුවො කෙනෙකුගෙ චරිතයකට කෙනෙක් ඕන වෙලා තිබුණා. ඒ හාමුදුරුවො කියන්නෙ සිරිල් වික්‍රමගේගෙ අයියා. ඒ චරිතයට තමයි මම තෝර ගත්තෙ.

ඒ කියන්නෙ ඔබ පාසල් කාලයෙත් රංගන කටයුතු කරල තිබුණද?
මෙහෙමයි..... ඉස්කෝලෙ තිබුණ වේදිකා නාට්‍යවල රඟපාල තියෙනවා. එහෙම නැතිව වෙනත් රංගන කටයුතුවල නිරත වෙලා නෑ.

ඔබේ මුල්ම රංගනය කරන කාලෙ ඔබගෙ වයස කීයද?
එතකොට මට අවුරුදු 40ක් විතර ඇති.

එතකොට ඔබ විවාහකයි.
ඔව්.

බිරිඳ එහෙම විරුද්ධ වුණේ නැද්ද? බයිස් කොප්වලට යනව කියල
නැ..........නැ........... එයාගෙ කිසිම විරෝධතාවක් තිබුණේ නැ

5767531ac0799

රඟපාන්න ආවෙ ඔබේ පාසල් මිතුරා පති මහත්තයා කතා කර නිසාද?
ඇල්ල ළඟ වලව්වේ චරිතයට නම් ආවෙ පතී කතා කරපු නිසා තමයි. මොකද මමත් ගෙදර නිකං හිටියෙ. රූගත කිරීම් කළෙත් මාවනැල්ලෙ අපේ ගමේ.ඉතිං ඒ හින්දා රඟපෑවා.

රංගනය නිසා කීයක් හරි ලැබුණේ කොහොමද? මුලින්.
මෙහෙමයි...මම පතිගෙ ඒවට මුදල් ගත්තෙ නෑ.ඊට පස්සෙ වැඩ එනකොට පතීම කිව්වා “මචං දැන් කීයක් හරි ගනින්” කියලා. ඉතිං මමත් ඩිංග ඩිංග වෘත්තීය මට්ටමට ආවා. දැන්නම් ඉතිං මුදල් දෙනව කට්ටිය. (හිනා).........

ඇල්ල ළඟ වලව්ව නාට්‍යය චරිතය මතකද? තාම.
ඇයි නැත්තෙ..........ඇල්ල ළඟ වලව්ව රඟපාද්දි මට තිර පිටපතක් දුන්නෙ නෑ. පතී ඉතිං මම ගැන පොඩි කාලෙ ඉඳල දන්නව නේ. සහය අධ්‍යක්ෂවරයෙක් හිටිය පියසිරි කුලරත්න කියල. මගෙ චරිතය තිබුණේ වනවාසි හාමුදුරු නමකගෙ චරිතයනෙ. මම සිවුර දාගෙන කැමරාව ඉස්සරහ වාඩි වුණාට පස්සෙ පතී කිව්වා “පියසරි ඔන්න ඔය දෙබස් ටික ගංගොඩතැන්නට කියන්න” කියලා. එහෙම තමයි වුණේ.

එහෙම ආපු ගමනෙ දැන් කොහොමද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?
නොම්මර 01යි. (හිනා)............ කුඩා මහළු ඔක්කොම මම අඳුරනවා. මේ දවස්වල “අන්කල් සෑම්” නාට්‍යයේ විල්සන් ගොඩක් අය අතර ජනප්‍රියයි. ඉතිං ගොඩක් සතුටුයි ප්‍රේක්ෂකයන්ගේ පිළිගැනීම ගැන.

ඔබ දැන් බිහිවන ගොඩක් චිත්‍රපටවලට නැතිවම බැරි කෙනෙක්. චිත්‍රපට ක්ෂේත්‍රයට ආවෙ කොහොමද?
ඒත් පතීගෙම “වාසුලි” කියන චිත්‍රපටයෙන් තමයි මුලින්ම රඟපෑවෙ. ඊට පස්සෙ පතීගෙම “ මතුයම් දවසක” වගේ තවත් චිත්‍රපට කීපයකම රඟපෑවා.

5767549554f55

ඊට පස්සෙ?
ඊට පස්සෙ ටිකක් ලොකු චරිතයක් කරා. උදය කාන්තගෙ “යකඩ පිහාටු” චිත්‍රපටයේ. ඊට පස්සෙ රන්ජන් රාමනායක මහත්තයාගෙ චිත්‍රපට රාශියකම වගේම සෝමරත්න දිසානායකගේ “සූරිය අරණ” ඇතුළු චිත්‍රපට කීපයකම රඟපෑවා. ලාල් ප්‍රිය දේවගේ චිත්‍රපට රාශියකම රඟපෑවා.

දැනට චිත්‍රපට කීයක විතර රඟපාල තියෙනවද?
30ක් 35ක් විතර.

දැනට ටෙලි නාට්‍යය කීයක විතර රඟපාල තියෙනවද?
120ක් 130ක් විතර.

දැනට එන්න තියෙන චිත්‍රපට ප්‍රමාණය කොපමණද?
7ක් 8ක් විතර

දැනට එන්න තියෙන ටෙලි නාට්‍යය ප්‍රමාණය කොපමණද?
7ක් 8ක් විතර.

ඔබ DVD ෆිල්ම් වලටත් නැතිවම බැරි නළුවෙක් වෙලා නේද?
ඔව්.ඔව්.දැනටම DVD ෆිල්ම් 50ක විතර රඟපාල තියෙනවා.

ඔබ රංගන ක්ෂේත්‍රයට එන්නෙ ප්‍රහසන නළුවෙක් විදියට නෙවෙයි නේද?
ඔව්. මම සීරියස් කැරැක්ටර් තමයි මුල් දවස්වල කරේ.

එතකොට ප්‍රහසන නළුවෙක් බවට පත් වුණේ?
කුමාරසිරි අබේකෝන්ගෙ “ එක් මෘදාන්ගනාවියක්” කියන නාට්‍යයේ තරමක විහිළු චරිතයක් කරා. ඊට පස්සෙ රන්ජන් රාමනායක මහත්තයගෙ,සුනිල් සෝම පීරිස් මහත්තයාගෙ,සුදේශ් වසන්ත පීරිස් මහත්තයගෙ,ලාල් ප්‍රියදේව මහත්තයගෙ චිත්‍රපටවල විහිළු චරිත රඟපෑවා.

ඔබ මේ දවස්වල ජාතික රූපවාහිනියෙන් විකාශය වන “සිල්ලර කාසි” නාට්‍යයේ කරන්නෙ විකට චරිතයක් නෙවෙයි නේද?
ඔව්. මම ඒ නාට්‍යයෙ කරන්නෙ සීරියස් කැරැක්ටර් එකක්.

පවුලේ විස්තර ටිකක් කියමුද?
මට පුතයි දුවල දෙන්නයි ඉන්නෙ. පුතා ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ. එක දුවක් කොළඹ. අනිත් දුව ගමේ මහ ගෙදර අපිත් එක්ක ඉන්නේ.දැන් ඉතින් අපිට මුනුබුරෝ මුනුබිරියො ඉන්නවා.(හිනා)............

ෆ්‍රිජ් එකකුත් බැඳගෙන ලොරියක යනකොට බිමට වැටිච්ච සිද්ධිය නම් ජීවිතේට අමතක වෙන්නෙ නෑ නේද?
කවදාවත් අමතක වෙන්නේ නෑ......

මොකක්ද ඒ සිද්ධිය?
ඒ සිද්ධිය වුණේ ලාල් ප්‍රියදේවගේ චිත්‍රපටයකදී. මම ප්‍රිජ් එකකුත් පිටේ බැඳගෙන යන වාහනයෙන් එළියට පනින්න ඕන. කොහොම හරි පැන්නයි කියමුකො. පපුව එහෙම ගොඩක් සීරුණා. ටිකක් අමාරු වුණා. දැන්නම් ඉතින් ඒ වගේ ඒව කරන්න යන්නේ නෑ.... දැන් ඉතින් වයසයිනේ. (හිනා)...............

-------------විජිත උදය කුමාර-------------