චිත්‍රපටයක් කරලා මම පම්පෝරි ගහලා වැඩක් නෑ - කළ්‍යාණ චන්ද්‍රෙස්කර

චිත්‍රපටයක් කරලා මම පම්පෝරි ගහලා වැඩක් නෑ - කළ්‍යාණ චන්ද්‍රෙස්කර

ශ්‍රී ලාංකීය චිත්‍රපට ඉතිහාසයේ කාන්තාවන් පමණක් රංගනයේ යෙදෙන චිත්‍රපටයක් මීට කළින් නිර්මාණය වෙලා තිබුණේ නැහැ.මේ දිනවල තිරගත වන සේයා චිත්‍රපටයේ රංගනයේ යෙදෙන්නේ නිළියෝ විතරමයි.දිල්හානි ඒකනායක, උදාරි පෙරේරා ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පිණියන් රාශියක් මේ චිත්‍රපටයේ රංගනයේ යෙදෙනවා.සේයා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කළ්‍යාණ චන්ද්‍රෙස්කර.සේයා ගැන අහන්න හොඳම සුදුස්සා ඔහු නිසා අපි ගියා ඔහුව සොයා ගෙන

ඔබ නිර්මාණය කළ සේයා චිත්‍රපටයට මේ දවස් වල ලැබෙන ප්‍රතිචාර මොන වගේද ?

ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චිත්‍රපටය තිරගතවන සෑම සිනමා ශාලාවකින්ම කියන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳ මට්ටමක තිබෙනවා කියලයි. ඒ වගේම මංගල දර්ශනය බලන්න ආපු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කිවුවෙත් චිත්‍රපටය හොඳයි කියලා.

ඇයි ඔබ කාන්තාවන් පමණක් රංගනයේ යෙදෙන චිත්‍රපටයක් නිර්මාණය කළේ?

කථාවක් හිතේ ගොඩ නැගුනා. ඉතින් ඒ කථාවේ කාන්තා චරිත විතරයි තියෙන්නේ.ඒ කථාවේ හැටියට පිරිමි චරිත තිබෙන්න බෑ.

seya 3

සේයා චිත්‍රපටයේ තේමාව ගැන කතා කරමුද?

සේයා චිත්‍රපටය අද්භූත ජනක කුතුහලයෙන් පිරි හොල්මන් කතාවක්. හැබැයි පවුලේ සැමට එක්ව නැරඹිය හැකි චිත්‍රපටයක්.

තව ටිකක් පැහැදිලි කරමුද?

මැරුණ කෙනෙක් තමන් මරපු කෙනාගෙන් පළිගන්න විදිහ තමයි මේ චිත්‍රපටය පුරාම තියෙන්නේ.

සේයා රූගත කරනවාට වඩා කාලයක් ගත වුණේ සංස්කරණය කරන්නද?

ඇත්තටම ඔවු . සේයා රූගත කරන්න ගියේ මාසයක වගේ කාල සීමාවක්.2017 ජනවාරි 25 තමයි අපි රූ ගත කරන්න පටන් ගත්තේ.2017- පෙබරවාරි 22 අපි රූගත කිරීම් අවසන් කළා.එදා ඉදලා 2017 ජූලි මාසේ අග වෙනකල් හැමදාම වැඩ කරලත් අවසන් කරන්න බැරි වුණා. මොකද හොල්මන් චිත්‍රපටයක් නිසා ග්‍රැෆික් වැඩ ගොඩක් තිබුණා.හොඳම ගුණාත්මක විදියට ඒවා ප්‍රේක්ෂකයාට ලබා දෙන්න අවශ්‍ය නිසා වැඩි කාලයක් අරගෙන වැඩ කළා. ඒ වගේම මෙහි sound effects වගේ තාක්ෂණික දේවල් කළේ ඉන්දියාවෙදි.

ඒ කියන්නේ විශාල බරපැනක් දරන්න වෙන්න ඇති නේද ?

ඔවු. සේයා චිත්‍රපටයේ නිෂ්පාදක තුමන්ලා විශාල බරපැනක් යෙදෙවුවා. මම ඔවුන්ට ස්තුති වන්ත වෙනවා.මොකද චිත්‍රපටයයේ බොහෝ දර්ශන රිවර්ස්ටන් වල කළේ.රිවර්ස්ටන් ඉතාමත් ලස්සන ප්‍රදේශයක් වගේම සංචාරක ප්‍රදේශයක්. එහේ සියළුදේ සාමාන්‍ය ප්‍රෙද්ශයකට වඩා ගණන්. නවාතැන් පහසුකම් ආහාර සියල්ල එහෙමයි. ඒ වගේම තාක්ෂණික කටයුතු බොහොමයක් ඉන්දියාවේ කළ නිසා ඒවාටත් විශාල වියදමක් දරන්න වුණා. ඒ වගේම ලංකාවේ වැඩිම මුදලක් අය කරන නිළියෝ කිහිප දෙනෙක් මේ චිත්‍රපටයේ රංගනයේ යෙදෙනවා.

එතරම් මුදලක් වියදම් කරලා නිර්මාණය කළ චිතුපටය පිලිබදව දැන් ඔබ සෑහීමකට පත් වෙනවද?

මම චිත්‍රපටයක් කරලා මම පම්පෝරි ගහලා වැඩක් නෑ. ඒ ගැන කතා කරන්න ඕන චිත්‍රපටය නරඹපු ප්‍රේක්ෂකයෝ සහ විචාරක මහත්වරු.

රිවස්ටන් වල රෑ ගත කිරිමක් අමුතු අත්දැකිමක් වෙන්න ඇති නේද?

ඔව්, රිවස්ටන් අති සුන්දර වුනාට රෑගත කරන්න හරි අමාරැයි. අධික සීතල වගේම හදිසියේ එන මිදුම නිසා රෑගත කරපුවා නැවත රෑගත කරන්න වෙනවා. මීදුම ඉවත් වෙනකම් පැය ගණන් බලන් ඉන්න වෙනවා. ඒ වගේම කූඩැල්ලෝ නිසා නිළියන් මහත් අපහසුතාවයන්ට ලක්වුනා. ඉතින් ඒ සියල්ල ජය ගන්න අපේ නිළියන් ටික සහ නිෂ්පාදක කණ්ඩායම මහත් කැප කිරිමක් කරා. ඒ කාටත් ස්තූති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.

දැන් බොහො නිෂ්පාදක වරැන්ට තියෙන අභියෝගය තමයි චිත්‍රපටය හෝල් වලින් ගලවා ගන්නේ නැතුව තියා ගන්න එක.

ඔව් අපි ඒ සදහා ඒ අභියෝගය ජය ගන්න රට පුරා දෙපැත්තකට බෙදිලා ඇවිදිනවා. අද මාතලේ හෙට කෑගල්ලේ අනිද්දා මාතර පොස්ටර් කැම්පෙන් එක අපි තමයි සෑම තැනම කරන්නේ. ඊට අමතරව රෑපවාහිණි දැන්විම් සහ පුවත්පත් දැන්විම් දානවා.

seya 1

සේයා හි තියෙන ගීත ගැනක් කථා කරමුද?

ඉතාමත් මියුරැ ගීත 03 ක් සේයා හි තියෙනවා. මෑත කාලයේ සිංහල චිත්‍රපටියකින් නැරඹිය හැකි ඉතාමත් රසවත් ගීත 03 ක් .

ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවද ?

මීටත් වඩා හොද චිත්‍රපටියක් නිර්මාණය කිරිම තමයි මගේ බලාපොරොත්තුව.

විජිත උදය කුමාර

සේයා දැන් පෙන්වනවා - මෙම සිනමාහල් වලදී නරඹන්න