ආචාර්ය අරෝෂ තව ඉදිරියට

ආචාර්ය අරෝෂ තව ඉදිරියට

වසර හතරක් වැනි කෙටි කාලයකදී චිත්‍රපට 16ක්, ටෙලිනාට්‍ය 6ක්, වේදිකානාට්‍ය 2ක් ඇතුළු කලා නිර්මාණ 24කට සිය නිෂ්පාදන දායකත්වය දැක් වූ චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදක ස්වාධීන රුපවාහිනී සේවයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු පසුගියදා සිනේලින්ක් සමාගමේ සභාපති ධුරයට පත්විය. සිනේලින්ක් ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික නිෂ්පාදන ආයතනය වේ. එය ස්ථාපිත කරන ලද්දේ 1986 වසරේදීය. අරෝෂ මහතා එම සමාගමේ 50% ක කොටස් මිලදීගැනීමත් සමග එහි නව කාර්යාලය කෝට්ටේ මාදිවල පිහිටි ස්ථානයක උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී. වැඩි ඉඩ ප්‍රමාණයකින් සහ නවතම තාක්ෂණික මෙවලම් සහිතව විවෘත කල මේ අවස්තාව සඳහා ලකී ඩයස්, අර්ජුන කමලනාත්, අනුරුද්ධ ජයසිංහ ඇතුළු කලාකරුවන් රැසක් සහභාගී විය.

IMG 20170803 131159 864

            සිනේලින්ක් ආයතනය ආරම්භයේ පටන් මේ දක්වාම මෙරට නිර්මාණය වූ ටෙලිනාට්‍ය, චිත්‍රපට සහ විවිධ වැඩසටහන් රැසකටම තාක්ෂණික මෙවලම් සපයමින් ඊට අදාල සේවා සහ කළමනාකාරීත්වයෙන් සහභාගී වෙමින් සිය කටයුතු ඉදිරියට කරගෙන යන කීර්තිමත් ආයතනයකි මෙම සමාගම, මේ වන විට ටෙලිනාට්‍ය 14ක් නිෂ්පාදනයෙන්ද. ටෙලිනාට්‍ය 800 කට වඩා උපකරණ සැපයුමෙන්ද සහ විශේෂ සේවා සැපයුමෙන්ද ඉදිරියෙන්ම සිටී.

            තවද, ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂණය කරන සිතින් සිය වරක්, චරිත අබේසිංහගේ මිණි ගන්දෑල, අර්ජුන කමලනාත්ගේ සඳමලී, දයාරත්න රටගෙදරගේ කැලෑ හඳ යන ටෙලිනාට්‍ය වල නිෂ්පාදන උපකරණ සපයමින් සහ ඊට අදාල සේවා සපයමින් එම නිර්මාණ සඳහා සහභාගී වෙයි.

            ආචාර්ය අරෝෂ පැවසුවේ,සිනේලින්ක් ආයතනයේ වැඩි දියුණුවට සහ එහි ගුණාත්මකභාවය ඉහල නැගීමට අවශ්‍ය නව මැදිරි එනම්, සංස්කරණ සහ හඩ කැවීම් මැදිරි, නව කැමරා සහ ආලෝක උපකරණ පද්ධති ද අනෙකුත් උපකරණ මිලදීගැනීම සම්බන්ධයෙන්ද එහි කළමණාකාර අධ්‍යක්ෂිකා කුමාරී දමයන්තී මාතරගේ සමඟ මේ දිනවල සාකච්ඡා කරගෙන යන බවත්ය.

            එමෙන්ම, ආචාර්ය අරෝෂගේ නවතම චිත්‍රපට නිෂ්පාදනය වන “එක දවසක අපි” චිත්‍රපටය මේදිනවල සිංගප්පුරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, ඉන්දුනීසියාවේ ජොග්ජා නෙට්පැක් ආසියානු චිත්‍රපට උළෙල, තායි (බැංකොක්) ජාත්‍යන්තර සිනමා උළෙල, පෝලන්ත ජාත්‍යන්තර සිනමා උළෙල, ඉන්දියානු ජාත්‍යන්තරසිනමා උළෙල, කල්කටා ජාත්‍යන්තර සිනමා උළෙල, කේරළ ජාත්‍යන්තර සිනමා උළෙල, පුනේ ජාත්‍යන්තර සිනමා උළෙල, ප්‍රංශ ජාත්‍යන්තර සිනමා උළෙල ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ සිනමා උළෙලවල් ගණනාවකට ලොව වටා සහභාගී වෙමින් පවතී.

            මෙම චිත්‍රපටිය සඳහා පුර්ණ අනුග්‍රහය දක්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් ජංගම දුරකථන ජාලයක් වන ‘ඩයලොග්’ ආයතනය විසිනි. එක දවසක අපි සිනමාපටය ‘ඩයලොග්’ ආයතනයේ මුල්ම අනුග්‍රහක දායකත්වය ලබා දෙන සිනමා පටය වීම මෙහි විශේෂත්වයයි.

            තවද, සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහයන්ගේ අධ්‍යක්ෂණයක් වන එක දවසක අපි චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සඳහා පුබුදු චතුරංග සහ ජනප්‍රිය නිලි සම්මානලාභී නයනතාරා වික්‍රමආරච්චිගේ රංගන දායකත්වය ලබා දී ඇත.

            චිත්‍රපට නිෂ්පාදක, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ එක දවසක අපි සිනමාපටය මෙරට සිනමා ශාලාවල සහ ‘ඩයලොග්’ ජංගම දුරකථන ජාලයේ ‘විනෝදාස්වාදය (Entertainment)’පද්ධතිය යටතේ මෙම වසර අගදී තිරගත වීමට නියමිත බව අචාර්ය අරෝෂ මහතා අපට පැවසීය.

            එතුමා විසින් නිෂ්පාදිත තිරගත වීමට නියමිත ‘ගුරු ගීතය’ ඇතුළු තවත් චිත්‍රපට ගණනාවක්ම ලාංකික සිනමා රසවතුන්ට දැක ගැනීමට වාසනාව ඉදිරි කාලයේදී උදාවනු ඇති පැවසුවේ සතුටිනි.

                        ෴මංගලා පෙරේරා෴