අමරදේවයන්ගේ යුග මෙහෙවර බිඳක්

අමරදේවයන්ගේ යුග මෙහෙවර බිඳක්

සිංහල සංගීතයේ එක් සදානුස්මරණීය යුගයක් පසුගියදා ඉතාම ශෝකාත්මක අයුරින් නිමාවට පත්වුණා. ඒ යුගය අපට 'අමරදේව ' යුගය කියා හදුන්වන්නට පුලුවන්. නූතන සිංහල සංගීතය ආරම්භ වන්නේ ආනන්ද සමරකෝන්ගෙන්.ඔහු ජතික ගීයේ නිර්මාතෘ.ඉන් ඉක්බිති සුනිල් ශාන්ත සිංහල සංගීතය තවදුරටත් අභිවර්දනය කළා.සාහිත්යදර අරිසෙන් අහුබුදු ශූරීන්මේ තිදෙනා දකින්නේ සිංහල සංගීතය නමැති රන්දමේ මුල් පුරුක් තුන වශයෙන්.ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ යුග කාරක මෙහෙවර වුණේ කුමක්ද? එය සම්මර්ශනය කර බැලීම කාලීන අවශ්‍යතාවයකි.මෙය ඊට ප්‍රවිශ්ටයකි.

1934 දී සිදු වූ රවීන්ද්‍රනාත් තාගෝර්ගේ තෙවැනි ලංකාගමනය ශ්‍රී ලාංකේය කලාවේ පුනර්ජීවනයට හේතු භූතවූ සුවිශේෂ සංස්කෘතික සංසිද්ධියක්.කලාකරුවන් භාරතයට ගොස් කලාව හැදෑරීම හා එය තවදුරටත් ප්‍රගුන කර ගැනීම ආරම්භ කළේ එහි ප්‍රතිඵල වශයෙන්.මෙහිදී සංගීතය ,නර්තනය ප්‍රමුඛ කලාංග වූ බව පෙනෙනවා. කල්කටාවේ ශාන්තිනිකේතනය,ලක්නව්හි භාත්කන්ඩේ සංගීත විද්යාලය,කේරලයේ කේරල කලා මණ්ඩලය,අල්මෝරාවේ උදය ශංකර්ගේ නැටුම් මධ්‍යස්ථානය,අඩයාර්ගේ කලා ක්ෂෙත්‍ර අපේ කලාකරුවන්ගේ ශිල්ප නිකේතන බවට පත්වූ ආයතන.ආනන්ද සමරකෝන් ශාන්ති නිකේතනයට ගිය අතර සුනිල් ශාන්තශාන්ති නිකේතනයටත් ඉනික්බිතිව භාත්කණ්ඩේ සන්ගීත විද්යලයටත් ගියා.ලයනල් එදිරිසිංහ භත්කණ්ඩේ සංගීත විඩ්යලයට ගියා.එයින් සංගීතය පිලිබද විශාරද උපාධියක් ලත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ඔහු. ආචාර්ය පණ්ඩිත් අමරදේව (1927-2016) භාත්කන්ඩේ සන්ගීත් විද්යාලයෙන් සංගීත හා වාද්ය උපාදිය යන දෙකම ලැබූ විශිෂ්ට ගාන්ධර්වයෙක්.

අමරදේවයන් භාත්කණ්ඩේ සංගීත විද්යාලයට යැවීම පිටුපස පුද්ගලයන් තිදෙනෙකු සිටිබව පේනවා. ඒ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර,ඩී.බී.ධනපාල හා ප්‍රේමකුමාර එපිටවෙල.මේ ගැන 'ලංකාදීප' ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටවූ අතර ඒ මුදල් අමරදේවයන්ගේ භාරත ගමනට යෙදවුණා. අමරදේව ගමනට ආධාර පිණිස චිත්‍රසේනගේ 'චණ්ඩාලිකා' මුද්‍රා නාටකයත් ,ප්‍රේමකුමාර එපිටවෙලගේ 'තිත්ත බත' නාටකයත්වේදිකා ගතකළා.අමරදේවගේ භාත්කණ්ඩේ ගමනට එවක පැවති රජය කිසිදු ආධාරයක් ,අනුග්‍රහයක් දුන්නේ නැහැ.එක් සංගීත පරීක්ෂකවරයෙක් එවක සිටි අගමැතිට කියා ඇත්තේ 'මේවාට වියදම් කරන්න මුදල් නැති බවයි. එම සංගීත් පරීක්ෂකවරයා ස්ංගීතය විෂයක් වශයෙන් හදාරා තිබුණත් කිසිදු සංගීත නිර්මාණයක් කිරීමේ කුසලතාවයක් නොතිබූ කෙනෙක්.එබැවින් ඔහු අමරදේවට,සුනිල් ශාන්තට ඊර්ෂයා පරවශව ක්‍රියාකල බව කියවෙනවා.

එකල අමරදේවයන් හැදින්වුණේ ඩබ්ලිව්.ඩී.ඇල්බට් පෙරේරා යනුවෙන්.ඉන්දියානුවන් පෙරේරා,සිල්වා, ප්‍රනාන්දුයන වාසගම් වලට කැමැත්තක් නොදැක්වූ හෙයින් භාරතයට යන්නට පෙර ඔහුගේ නම දේශීය වූරුවක් ඇතිව යෙදීමේ අවශ්‍යතාවය පැන නැගුණා. 'අමරදේව' යන නම යෙදුවේ මහාචාර්ය සරච්චන්ද්‍ර. පණ්ඩිත් ශ්‍රී ක්‍රිශ්ණ් නාරායන් රතනජංකර් එකල භත්කණ්ඩේ සංගීත විද්යාලයේ අධිපති.අමරදේවයන්ට වයලින් වාදනය ඉගැන්වූයේ ශ්‍රී විශ්ණු ගෝවින්දජෝග්.අමරදේව ඔහුගේ ප්‍රියතම සිසුවා වුණා.එය කෙතරම්ද යත් ඔහු සිය මුනුපුරාට යෙදුවේ අමරදේව විජය ජෝග් යන නම.උස්මාන් ඛාන්,මක්ෂූඩ් අලිඛාන්,ජී.ඇස්. නාතු, විනායක් මුකුන්දි ලෙලේ, කදම්බරී රංග රාවෝ අමරදේවයන්ගේ සෙසු ගුරුන් වුණා. ඒ හැරුණුකොට පණ්ඩිත් රවි ශංකර් උස්තාද් අලි අක්බාර් ඛාන්,උස්තාද් අලාඋද්දීන් ඛාන් යන අයගේ ඇසුර ලබන්නට ද හෙතෙම භාග්යවන්ත වුණා. ජී. ආර්. පීරිස්, එස්.ඩී. එස්. ජයසේකර,පී.වී. නන්දසිරි, කුලරත්න තෙන්නකෝන් ,ලයනල් බාලසූරිය, කල්යානි අබේසුන්දර(විමල් අභයසුන්දරගේ බිරිය) එකල භත්කණ්ඩේ සිටි අමරදේවයන්ගේ සමකාලීනයන්. එකල ඉන්දියාවේ විශ්ව විද්යාල අතර වයලීන් වාදන තරගයක් පැවත්වුණා.ඉන් පලමු ස්ථානය දිනා ගත්තේ අමරදේවය.

සංගීතයට ප්‍රවිශ්ට වන්නට අමරදේවයන්ට එක්තරා පසුබිමක් තිබුණා. ඔහුගේ මව මෙතෝදිස්ත ආගමේ. ඇය පල්ලියේ ගීතිකා ගායනා කළා. ඒ අනුප්‍රාණයෙන් කුඩාඅමරදේව කැරොල් ප්‍රසංගවල ගීතිකා ගැයුවා. ඇතැම් අවස්තාවල බයිලා පවා ගැයූ බව සදහන් වෙනවා. අමරදේවගේ පියා වඩු කාර්මිකයෙකු වූ අතර වයලින් අලුත් වැඩියා කිරීමේද් යෙදුණා. අමරදේවට කුඩා කාලයේ සිටම වයලීනය හුරු වුණේ ඒ අනුව. ඔහුගේ මාමා කෙනෙකු වූඉදිබැද්දේ ආරොන් බාස් ගමේ නාඩ්ගම්කාරයෙකු වශයෙන් ප්‍රකටව සිටියා. අමරදේවගේ පියා බෞද්ධයකු වූ බැවින් අමරදේවට පන්සල් ආශ්‍රයද ලැබුණා.එක් පැත්තකින් කැරොල් ගී ගායනා කරන අතර අනෙක් පැත්තෙන් ගමේ වාලුකාරාමයේ දොරකඩ අස්නද කියෙවුවා. වෙසක් කැරොල් වල ගී ගැයුවා. අමරදේවයන්ගේ බොදු ගී වල පවාක්‍රිස්තියානි ගීතිකාවල දෝංකාරය ඇසෙන බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා හදුනාගෙන තිබුණා.ඔහු සංගීතය පිලිබද සියුම් රසාස්වාදන ශක්තියක් ඇත්තෙක්. ඒ නිසයි ඔහුට මෙය වැටහී ඇත්තේ. වරක් මොරටුවේ පැවති කලා උළෙලකට සහභාගී වූ ලයනල් එදිරිසිංහ අමරදෙවගේ දස්කම් දැක මෙසේ කියා තිබෙනවා. ' ඇල්බට් පෙරේරා පුදුම දස්කම් ඇති තරුණයෙක්.බයිස්කෝප් වලට ඇබ්බැහි වී නොමග යන්නට පෙර ඔහු ඉන්දියාවට යවා හොද පුහුණුවක් ලබාදිය යුතුයි. ගමේ උදවිය අමරදේවට කිවුවේ සින්දු ඇල්බට් කියාය. ඔහු මගුල් ගෙවල්වල'සාජ්ජ්' වල පවා සිංදු කිවුවා.වයලීන් වාදනය කළා. අමරදේවයන් ගැයූ මුල්ම ගීතය 'රසයි නැහැ කිරි දියාරු. එය කොලොම්බියා සමාගමේ ග්‍රැමෆෝන් තැටියකට නැගූවක්.සහාය ගායිකාව වුණේ සිරිමතී වෙත්තසිංහ. යූ. ඩී. පෙරේරාගේ පබැදුමක් වන එය සංගීතවත් කලේ මොහමඩ් ගවුස්. එය බෙංගාලි තනුවක් බව පැවසෙනවා.

අමරදේවට මෙම ගීතය ගයන්න ලැබුණේ අහම්බෙන්. මේ ගීතය ගයන්න නියමිත්ව සිටියේ ඒ. ජේ. කරීම්. ඒත් ඔහුගේ ගායනය පිලිබද සැහීමකට පත් නොවූ ගවුස් මාස්ටර් අමරදේව වෙත පැවරුවා. මේ ගීතයට ඔහු දායකව සිටියේ වයලීන් වාදකයෙකු වශයෙන්.එය සුවිෂේශ ගායකයෙකුගේ ආරාම්භක අවස්ථාව. ගවුස් මාස්ටර හමුවීමත් ඒ ඔස්සේ 'අශෝකමාලා' චිත්‍රපටයට සම්බන්ධ වීමත් අමරදේවගේ සංගීත කලා දිවියේ වැදගත් අවස්ථාවක්. මෙම සිනමා පටය සංගීතවත් කළේ ගවුස් මාස්ටර්. අමරදේව මෙහි ගීත දෙකක් (ඇයි කලේ යමෙකු ආලේ,භවේ භීත හැරදා) ගායනා කළ අතර එක් ගීතයක් සදහා තාපසයෙකුගේ චරිතයකට රංගනයෙන්ද දායක වුණා.අමරදේව වාදක මණ්ඩලයට එක්වූයේ වයලින් වාදකයෙකු වශයෙන් වුවත් ඔහුට සහාය සංගීත අධ්‍යක්ෂ ධූරය පිරිනමමින් ගවුස් මාස්ටර් ඔහුගේ කලා ජීවිතයට විශාල අනුග්‍රහයක් ලබා දුන්නා.

'අශෝකමාලා' රංගනය නිසා බොහෝ දෙනෙක් එදා අමරදේව හැදින්වූයේ 'කොරලවැල්ලේ තාපසයා' යන උපහාසාත්මක යෙදුමෙන්. ජෙරාල්ඩ් පීරිස් වයලින් වාදනයෙන්ද සී. නඩරාජා තබ්ලාව වැ‍යීමෙන්ද ' අශෝකමාලා ට දායක වුණා. අමරදේවයන්ගේ ප්‍රධානම සංගීත භාණ්ඩය වූයේ වයලීනයයි. ඔහු මෙයට කොයි තරම් ප්‍රේමණීය වීද කිවහොත් මේ කෙටි කවි පෙලින් එය සාක්ෂාත් වෙනවා.

එදා මා සිතය
අද අතට හුරු වීණය
වයන වයලීනය
නගන සර මිතුරන් අනූනය

අමරදේව මුල් යුගයේ සුනිල් සාන්ත ගේ වාද්ය වෘන්දයේ වයලීන වාදකයෙක්ව කටයුතු කළා. සුනිල්ගේ ආදර නදියේ නම් ගීතයේ මියුරු වයලීන වාද්නය ඔහුගේය. දිනකට පැය පහක් වයලීනය වාදනය කරමින් අමරදේව සත්තාභ්යාසයේ යෙදුණා. මෙය සමකාලීන වාදන ශිල්පීන්ට මාහැගි ආදර්ශයක්. චිත්‍රසේන කලායතනය අමරදේවයන්ට ස්වදේශීය ශාන්ති නිකේතනයක්.වූ ආකාරය පෙනෙනවා. එඩ්වින් සමරදිවාකර,ආනාද සමරකෝන්, සූර්ය ශංකර් මොල්ලිගොඩ, සොමබන්දු විද්යාපති, ඩබ්.බී. මකුලොලුව, සෝමදාස ඇල්විටිගල, ප්‍රෙම කුමාර එපිටවෙල, ගංගානාත්, පී. සකලසූරිය, චන්ද්‍රලේඛා, සරත්සේන(චිත්‍රසේන සොයුරු) ශේෂා පලිහක්කාර මෙහිදී අමරදේවට ඇසුරු කරන්නට ලැබුණු කෘතහස්ත කලා කරුවන්ය.

ඇත්තටම අමරදේව තරම් වියුත්පත්ති ඥානයෙන් හෙබි සංගීතවේදියෙක් තවත් නැති තරම්.ඔහු ඉහත කලාකරුවන් සේම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ලෙස්ටර් ජේම්ස් පීරිස්,ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ,යන අයද ඇසුරු කිරීමෙන් ස්වකීඉය කලා ජීවිතය තවදුරටත් පෝෂණය කර ගත්තා. විචාරකයන් සදහන් කරන ආකාරයට අමරදේවයන්ගේ විශිෂ්ටතම නිර්මාණ දක්නට ලැබෙන්නේ මුද්‍රා නාට්ය සංගීතයේදී. විශේෂයෙන්ම චිත්‍රසේන ගේ 'කරදිය' 'නළ දමයන්ති' වැනි මුද්‍රා නාට්යවලදී. 'හෝයියා හෝයියා(කරදිය) ඈත කදුකර හිමව් අරණේ(නල දමයන්ති) ඔහුගේ සුවිශිෂ්ට තනු.'කරදිය' මුද්‍රා නාටකයේ සංගීත රචනය අමරදේවයන්ගේ අග්‍රගණ්ය නිර්මාණයක් බව තිස්ස අබේසේකර වරක් සදහන් කර තිබෙනවා.

'චණ්ඩාලිකා' (තාගෝර්ගේ කතාවක් ඇසුරින් ආනන්ද සමරකෝන් නිපදවූ) 'තිත්ත බත' අමරදේවයන්ගේ තවත් සංගීත රචනා අයත් මුද්‍රා නාට්ය කිහිපයක්. අමරදේවයන්ගේ සංගීත දර්ශනය වූයේඋත්තර භාරතීය මහා සම්ප්‍රදාය වශයෙන්ද ජන සංගීතය චූල සම්ප්‍රදාය වශයෙන්ද ගෙන සංගීත භාවිතයේ යෙදීමයි. සිංහල සංගීතය යනු දේශීය ,නො එසේ නම් ශ්‍රී ලාංකේය සංගීතය නොවන බව අමරදේව නිතර අවධාරණය කල දෙයක්.ඊට හේතු වුණේ සිංහල සංගීතය හැරුණුකොට මේ රටේ දෙමළ, මුස්ලිම්, මැලේ,බර්ගර් යන ජාතීන්ට අයත් විවිධ සංගීත සම්ප්‍රධායන්ද පවතින නිසයි. එසේම සිංහල සංගීතය යනු හුදෙක්ම ජනගී පමණක්ම නොවන බවද හෙතෙම කියා තිබෙනවා. ප්‍රකට සංගීත පර්යේෂකයෙකු වූ සී. ද. එස්. කුලතිලක ලියූ ' ජන සංගීත සිද්ධාන්ත' පොතේ දැක්වෙන ආකාරයට සිංහල වන්නම්,පසන් ගීත,සීපද් ගායනා, ග්‍රොගරියානු ගීතිකා,වැදි ගී, ශාන්තිකර්ම ගායනා මේ සියල්ලම ජන සංගීතය යටතට ගන්න පුලුවන්.

1952 දී ගුවන්විදුලි ගායන ශිල්පීන් වර්ග කිරීම සදහා මෙරටට පැමිණි භාත්කණ්ඩේ සංගීත පීඨයේ මහාචාර්ය රතනජන්කර් විසින් දේශනයක් පවත්වමින් කරන ලද ප්‍රකාශ අමරදේව කෙරෙහි කිසියම් බලපෑමක් කර ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. 'වන්නම්, කවි,අෂ්ටක, ස්තෝත්‍ර, ශෘංගාර ලංකාවේ සංගීත සම්ප්‍රධායේ වැද්ගත් ප්‍රතිරූප වශයෙන් සැලකිය හැකිය. ඒවා සදහටම නැතිවී යාම වැලැක්විය යුතුය. ඒවා පදනම් කරගෙන ලංකාවට නියම දේශීය සංගීතයක් නිපදවා ගැනීමට තවමත් ඉඩ තිබේ.සරල ශාස්ත්‍රීය ගීත කලාවට අමරදේවයන්ගෙන් වූ මෙහෙවර අද්විතීය බව ප්‍රවීණ සංගීතවේදී ජයන්ත අරවින්ද කියා සිටිනවා. නළ දමයන්ති මුද්‍රා නාටකයට ඇතුළත් 'ඈත කදුකර හිමව් අරණේ,මදුවන්තී ගුවන්විදුලි සංගීත විචිත්‍රාංගයට ඇතුළත්' මලහිරු බසිනා,සන්නාලියනේ, පිලේ පැදුර, ඉරට මුවාවෙන්, ගීපොතයි මීවිතයි, වැනි ගී මේ සරල ශාස්ත්‍රීය ගීවලට නිදසුන්.

එහෙත් ජනගී ඇසුර ලැබීමත් සමගම අමරදේව ඊට කොටු වූ බව ජයන්ත අරවින්ද පෙන්වා දෙනවා.රතන් ජංකර්ගේ දෙසුමෙන් අමරදේව නොමග ගියාදෝ කියාතමාට සිතෙන බවත් හෙතෙම කියා සිටිනවා. ' මධුවන්තී මෙන්ම 'ස්වර වර්ණ, රස මියුරු, විජය ගීත, ජන ගායනා, ස්වර රසාංග වැනි වැඩ සටහන් ඔස්සේද අමරදේව සුභාවිත ගීතය පෝෂණය කළා.ක්ලැසිකල් යන්නට ශාස්ත්‍රීය යන වදන භාවිත කිරීම සාවද්ය බව අමරදේවයන්ගේ අදහසයි.ඔහු කීවේ ඊට සම්භාව්ය යන වචනය විවහාර කලයුතු බවයි. අමරදේවයන් අපේ සංගීතයට අලුත් රාග කිහිපයක්ම හදුන්වා දුන් බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. කීර්වානී., චාරුකේශී, චන්ද්‍රා නන්දනී වැනි රග ඊට නිදසුන්. සන්නාලියනේ ගීතය චාරුකේශී රාගය පදනම් කරගෙන නිර්මාණය වූවක්.මෙය කර්ණාටක සංගීතයේ එන රාගයකි.වෙස්සන්තර ගීතාංග නාටකයේ එන 'දැන්දැන් අම්මා ඒවිය සිතමින් නම්වූ ගීතය චන්ද්‍රා නන්දන් නම්වූ රාගය ඇසුරු කර ගත්තක්.එය උස්තාද් අලි අක්බාර් ඛාන් විසින් නිර්මාණය කරන ලද රාගයක්. යූ. ඩී. පෙරේරා ගෙ සිට හෝ ඩී.ටී. ප්‍රනාන්දු ගේ සිට වර්තමානයේ රත්නශ්‍රී විජේසිංහ, වසන්ත කුමාර කොබවක දක්වාවූ ගීත රචකයන් රැසක් අමරදේවයන්ට ගී ප්‍රබන්ධ කර තිබෙනවා. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, මඩවල.එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස්,මහාචාර්ය සුනිල් ආරියරත්න,ඩබ්ලිව්. ඒ. අබේසිංහ, සුනිල් සරත් පෙරේරා ඒ අතර ප්‍රමුඛයි. මොවුනතරින් අමරදේව -සේකර සුසංයෝගය අර්ථපූර්ණ , රස පූර්ණ ගී රැසක් බිහි කරන්නට උපස්ථම්භක වුණා.ඔවුන් දෙදෙනා හැදින්වුණේ ' ගී පොතයි මී විතයි' යන නමින්.

සේකර ගී හත වූ අතර අමරදේව මීවිත වුණා.මෙහිදී මීවිත යනුවෙන් අදහස් කෙරුණේ මියැසිය්ස් හෙවත් සංගීතයයි. තමාත් සේකරත් අතරවූ නිර්මාණ සුසංයෝගය ගැන අමරදේවයන් වරක් මෙසේ කියා සිටියා. ' මගේ කලා නිර්මාණ සදහා මා භාවිතා කරන්නේ නාද නමැති මූල ද්‍රව්යයයි.සෙකර භාවිතකරන් මූල ද්‍රව්යය වචනයි. නාද හා වචන අතර ඇති සම්බන්ධය තෙල් හා වතුර වැනි පරස්පර විරෝධී වස්තු බව විචාරක මතයයි.එසේ නම් අප දෙදෙනා මිතුරන් වූයේ කෙසේද? ඔහු කලාව පිළිබද සත්යවබෝධය ලද්දකු නිසා මගේ මාද්යට අනුකූලතා පූර්වකව සමීප විය. කවියේත් සංගීතයේත් එකතුවේ රහස මෙයයි. අමරදේවයන්ට සංගීත ඥානය විතරක් නෙවෙයි පෘතුල භාෂා ඥානයක්ද තිබුණා කුඩා කළ සිටම ඔහු හෙළ හවුල සමග සම්බන්ධතා පැවැත්වූවා. ඔහු ඉගෙනගත් කොරල වැල්ල ශ්‍රී සද්ධර්මෝදයේ මුල් ගුරු වූ කු. ජෝ. පෙරේරා කුමාරතුංග මුනිදාසයන්ගේ භක්තිමත් අනුගාමිකයෙක්. කුමාරතුංගයන්ගේ හෙළ හවුළේ රැස්වීම් වලදී කවි ගායනයට අමරදේව දායකවී තිබෙනවා. එකල ඔහු කොයිතරම් හෙළ හවුළට ලැදිවසිටියේද කිවහොත් තම නම යෙදුවේ ඇල්බත් තුමරුවන් යනුවෙන්. අමරදේවයන් ගීත කිහිපයක්ද ප්‍රබන්ධ කර තිබෙනවා. ගීත රචනයේ ලා අමරදේව දක්ව ඇති කුසලතාව ඔහු සතු වාදන හා ගායන කුසලතාව තරම්ම විශිෂ්ට යැ‍යි මහාචාර්ය ජේ.බී. දිසානායක ගේ අද්හසයි.

පීනමුකෝ කලු ගගේ, ශාන්ත මේ රැ යාමේ, වදිමු සුගත ශාක්යසිංහ, හදපානේ වැලිතලා, සීගිරියේ සිතුවම් රමණී අමරදේව අතින් විරචිත ගීය. ඒ අනුව අමරදේව වාගේයකාරයෙකු යැයි කියන්නට පුලුවන. එසේම තමන් සතු භෂා ඥානය නිසාත් ගේයතා ගුණ අවශ්‍යතා නිසාත් අමරදේවයන් වෙනත් රචකයන්ගේ ගීත පවා සුලු සුලු සංශෝධනයන්ට යටත් කර තිබෙනවා. මඩවල එස්, රත්නයක ලියූ 'මින්දද හී සර ගීතයේ මුලින් යෙදී තිබුනේ කන්ද කපා පායාපන් පුන්සද කියාය.එහෙත් අමරදේව එය කන්ද කපා පායන් රන් පුන්සද කියා මදක් වෙනස් කළා. එසේම ඩෝල්ටන් අල්විස් ලියූ 'සසර වසනතුරු, ගීතයේ මුලින් යෙදී තිබුණේ ස්වර්ණමාලී මහ සෑ‍යයි කියාය. එය රත්නමාලි සෑ කිරණයි' යනුවෙන් ඔහු එය වෙනසකට භාජනය කළා. අමරදේවයන්ගේ සංගීත කලා දිවිය කෙරෙහි බලපෑ සත්පුරුෂයා මහාචාර්ය සරච්චන්ද්‍ර යැයි කියන්නට පුලුවන.

කලින් දැක්වූ පරිදි ඔහු භත්කණ්ඩේ සංගීත විද්යාලයට යැවීම පිටුපස සිටි ප්‍රධාන බලවේගය සරච්චන්ද්‍රයන්ය. මහාචාර්ය සරච්ච්න්ද්‍රයන් වේදිකා නාට්ය කීපයකටම අමරදේවයන් ස්වර නිර්මාණයෙන් දායක වුණා. 'පබාවතී, එලොව ගිහින් මෙලොව ආව,වෙස්සන්තර ගීතාංග නාටකය, ලෝම හංස. භව කඩතුරාව ඊට නිදසුන්, වෙස්සන්තර නාට්යයේ දක්නට ලැබෙන්නේ රාගධාරී සංගීතය.ලෝමහංස නාඩගමක් බැවින් ඊට අනුරෑපී වූ සංගීතයක් ඔහු නිර්මාණය කර තිබෙනවා. චිත්‍රපට සංගීතයේලා අමරදේවයන්ගේ සම්ප්‍රධාය අගය කළ යුතුයි. චිත්‍රපට වලදී ඔහු ගායනය මෙන්ම සංගීතය යන අංශ දෙකෙන්ම සම්බන්ධ වුණා.'අශෝකමාලා' උහු ගී ගැයූ මුල්ම චිත්‍රපටය. 'රන්මුතුදූව' චිත්‍රපටයෙන් සංගීත නිර්මාණයට එළෙඹි අමරදේව ඉන් ඇවෑමෙන් 'ගම්පෙරලිය, දෙලොවක් අතර, වෙසතුරු සිරිත,රන්සලු, තුංමංහන්දිය,බක්මහ දීගේ වැනි සිනමාපටවල සංගීත ප්‍රබන්ධ කළා. මෙයින් ගම්පෙරලිය ගීත රහිත ප්‍රථම චිත්‍රපටය වීම විශේෂත්වයක්. 'ගම්පෙරලියේ' පසුබිම් සංගීතය සදහා පියදාස අතුකෝරල (සිතාරය) එම්. කේ රොක්සාමී (වයලීනය) ඩන්ස්ටන් ද සිල්වා (බටනලාව) සදානන්ද හෙට්ටිආරච්චි (සාරංගිය) යන ප්‍රවීණයන්ද යොදා ගැනුණා. 'රන්සලු' චිත්‍රපටයේ සංගීතය ආචාර්ය රොජර් මැනුවෙල් බදු විදේශීය සිනමා විශාරදයන්ගේ පවා බුහුමනට ලක් වූවක්. එහි එන 'මුනිසිරිපා පියුමේ' අමරදේව යෙදූ සංගීත රචනාව අති විශිෂ්ට යැයි කියන්න පුලුවන්.

අමරදේවට පුලුල් සංගීත චින්තනයක් තිබුණා. සංගීතය (ශුද්ධ) හා (විවහාරික) යැයි කොටස් දෙකකට බෙදුවොත් විවහාරික සංගීතයේදී අමරදේව විවිධ සංගීත සම්ප්‍රධායන් ගේ ඇසුර ලබුවා. 'රන්මුතුදූව චිත්‍රපටයේ එන ' පිපී පිපී රේණු නටන' ගීතය බයිලා ශයිලිය ප්‍රකට කරනවා. ' දෙලොවක් අතර' චිත්‍රපටයේ 'ගයන ගැයුම් ' ගීතයේදී ඔහු අනුප්‍රාණය ලබා ගත්තේ කැලිප්සෝ සංගීතයෙන්. 'කරදිය' මුද්‍රා නාට්යයේදීද හෙතෙම බටහිර සංගීත විධි ක්‍රම ගුරුකොට ගත් ආකාරය දිස් වෙනවා. චිත්‍රපට සංගීතයේලා අමරදේවයන්ගේ සම්ප්‍රධාය අගය කළ යුතුයි. චිත්‍රපට වලදී ඔහු ගායනය මෙන්ම සංගීතය යන අංශ දෙකෙන්ම සම්බන්ධ වුණා.'අශෝකමාලා' උහු ගී ගැයූ මුල්ම චිත්‍රපටය. 'රන්මුතුදූව' චිත්‍රපටයෙන් සංගීත නිර්මාණයට එළෙඹි අමරදේව ඉන් ඇවෑමෙන් 'ගම්පෙරලිය, දෙලොවක් අතර, වෙසතුරු සිරිත,රන්සලු, තුංමංහන්දිය,බක්මහ දීගේ වැනි සිනමාපටවල සංගීත ප්‍රබන්ධ කළා. මෙයින් ගම්පෙරලිය ගීත රහිත ප්‍රථම චිත්‍රපටය වීම විශේෂත්වයක්. 'ගම්පෙරලියේ' පසුබිම් සංගීතය සදහා පියදාස අතුකෝරල (සිතාරය) එම්. කේ රොක්සාමී (වයලීනය) ඩන්ස්ටන් ද සිල්වා (බටනලාව) සදානන්ද හෙට්ටිආරච්චි (සාරංගිය) යන ප්‍රවීණයන්ද යොදා ගැනුණා. 'රන්සලු' චිත්‍රපටයේ සංගීතය ආචාර්ය රොජර් මැනුවෙල් බදු විදේශීය සිනමා විශාරදයන්ගේ පවා බුහුමනට ලක් වූවක්. එහි එන 'මුනිසිරිපා පියුමේ' අමරඩේව යෙදූ සංගීත රචනාව අති විශිෂ්ට යැයි කියන්න පුලුවන්. අමරදේවට පුලුල් සංගීත චින්තනයක් තිබුණා. සංගීතය (ශුද්ධ) හා (විවහාරික) යැයි කොටස් දෙකකට බෙදුවොත් විවහාරික සංගීතයේදී අමරදේව විවිධ සංගීත සම්ප්‍රධායන් ගේ ඇසුර ලබුවා. 'රන්මුතුදූව චිත්‍රපටයේ එන ' පිපී පිපී රේණු නටන' ගීතය බයිලා ශයිලිය ප්‍රකට කරනවා. ' දෙලොවක් අතර' චිත්‍රපටයේ 'ගයන ගැයුම් ' ගීතයේදී ඔහු අනුප්‍රාණය ලබා ගත්තේ කැලිප්සෝ සංගීතයෙන්. 'කරදිය' මුද්‍රා නාට්යයේදීද හෙතෙම බටහිර සංගීත විධි ක්‍රම ගුරුකොට ගත් ආකාරය දිස් වෙනවා

..........සුනිල් මිහිදුකුල..........

සැකසුම : නිශාන්ත ලියනගේ